මගේ තැන...............................

මගේ තැන...............................

Wednesday 20 November 2019

වරදින් මිදී ජයගත් මුනිදාණෝ 1

සම්මා සම්බුදු සමිදු වදිමින් නගා හඩ
සිරි සදහම් වදිමි හදවතෙහි තබා ඉඩ
වදිනෙම් සගරුවන කියමින් සාදු හඩ
පද බැද පවසන්නේ වරදෙන් මිදුනු හඩ

පුරවරයෙහි අවි ආයුධ හැම දිදුලන්නේ
කරදරයැක්දැයි මේ සැවොම සිතන්නේ
නැකත්කරුවෝ අනාවැකිය කියන්නේ
පිනැති පුතෙකි මෙපුර එළිය දකින්නේ

පින පුරවාගෙන ඇතුලත කුමරු හැදෙන්නේ
කලා වයසට හරියැයි තක්සලාවේ යැවෙන්නේ
ගුරු ගෞරවයට කිසිවෙකු පලමු නොවන්නේ
පිනැති පුතා සිල්ප ලබා ටික ටික ලොකුවෙන්නේ

තක්සලාවේ දක්ෂ පුතා ගුරු හද ජයගන්නේ
සිල්ප ලබන අනෙක් අයගේ සිත මැලවෙන්නේ
ඉරිසියාව මතුව ගොසින් සැලසුම් කරමින්නේ
ගුරු සිත බිදුමට කේළම් එකිනෙක පවසන්නේ

ගුරු සිත් බිදුණි එනමුත් බෑ දඩුවම් නිසි දෙන්න
කරවමි උපායක් මේ නපුරා වැනසී මිය යන්න
ගුරුතුම කතා කෙරුවේ අහිංසක මෙහි එන්න
ගුරු පඩුරකට අවැසිය අතැගිලි දහසක් දෙන්න

හරි ගුරුතුමනි මා ගුරු පඩුරක් පුදවා දෙන්නම්
ගුරු හට මගේ ගරුසරු බව පෙන්වා දෙන්නම්
කඩුවක් රැගෙන කැලයට මා අද ඉදලා යන්නම්
දහසක් මරා අතැගිලි දහසකින් ඔබ පුද දෙන්නම්

ගත්තේ කඩුව තම වාසිය තකා නොවේ
වෙන කිසි වරදකට කිසිදා යටත් නොවේ
ගුරු ගෞරවය කිසිදා සිත වෙනස් නොවේ
ඉන්නේ අහිංසක මිස වෙනකෙනෙකු නොවේ

වනයට යන එන අයට මොහු මරණය ගෙන එනවා
එක දෙක නෙවෙයි විසි තිස් ගණන් ආවත් එය වෙනවා
අසුපිට නැගුණු අයටත් බේරුම් නැත ඉරණම විස දෙනවා
වනයට යන්න කෝසල රටේ හැමදෙන නිති බිය වෙනවා

මිනිසුන් මරා දමමින් අරගෙන අතැගිල්ල
තබමින් ගුහාවක රකිමින් ඇදුරට බිල්ල
තබලා රැකිය නොහැකිය අතැගිලි මල්ල
කුණුවී, සතෙකු කා අවසන් ගත් ඇගිල්ල

කිසිදා සොරකමක් ඔහුගෙන් නොවිලා ඇත
කිසිදා අතවරයක් කිසිවෙකුටත් වෙලා නැත
අතැගිලි ගුරු පුදටමයි වෙන අරමුණක් නැත
මොහු ගැන ලොවට කීමට ගුණ කදක් ඇත

හරියන්නේ නෑනේ ඇගිලි ඉතිරියක් නොවෙයි
කලහැක්කේ ඇගිලි මාලයක් පැලදීම තමයි
ගොතනා මාලේ දැන් ටික ටික පිරෙණු දැනුයි
අංගුලිමාල යන නම පටබැදිලා ඔහුට හිමියි

කපනවා ඇගිලි මරමින් වනයට යන අය අල්ලාගෙන
කියනවා රජුට රට වැසියන් හඩමින් අභය ඉල්ලාගෙන
යවනවා සිව් සේනාවන්ම වනයේ එනු ඔහු අල්ලාගෙන
වඩිනවා බුදුසමිදු මහ වනයට කරුණා සිත උපදවාගෙන

දරුවන් වටිනවා මව්වරු හට හැමකලදී
මා පුතු අසූවේය රජුගේ සේනා යන විටදී
බේරා ගනිමි පුතු මගෙ දිවියම හෝ පුදදී
මව්තුම යන්නේ වනයටයි පුතු ගැන සිතදී

අවසන් නවසිය අනූ නවයක් ඇගිලි බැද
එන්නේ කවුරු වූවත් අල්ලා ගෙලම සිද
සිතුවිලි නොමැත එන්නේ මව පියා වෙද
සිතමින් අගුල්මල් යන්නේ මාවත ඇවිද

එක් පසෙකින් මව්තුම ලං වී ගෙන එනවා
බුදු සමිදුන් පසෙකින් ඔහු වෙත ලං වෙනවා
මව් මැරුවොතින් කල්පයකට නිරයට යනවා
දකිනා සමිදු ඔහූ බේරා ගන්න පෙර මග එනවා

Friday 16 August 2019

අප මුණිදු සම්මා සම්බුදු ව නිවන වෙත වඩිනවා


හොයාගෙන පරම මග ලොවට නොඇලී සිටිනවා
ගෙවාගෙන ගෝර දුක් සසර නිමාවම දකිනවා
බෝ සෙවනේ වීරියෙන් තිලොවෙහිම ජය ලබනවා
අප මුණිදු සම්මා සම්බුදු ව නිවන වෙත වඩිනවා

බුදුරැසින් බබලමින් නැණ නුවණ උදා කරනවා
පෙර බවය ගෙවා ආ ගමන නිති සිහි කරනවා
රෑ ප්‍රථම යාමයත් දැන් ගෙවි කාලයම ඇදෙනවා
අප මුනිදු ගෙවා ආ සසර මොහොතකින් දකිනවා

දෙවන යාමයට රැයත් ගෙවි ගෙවි දිදුලනා
සමිදු දැන් ඉපදෙනා මැරෙන ලොව බලනවා
ඉපදෙනා මැරෙන සතුන්ගේ ගමන දකිනවා
දෙවන නුවණත් ලබා සිතක සැනසුම ලබනවා

හදන සසරක ගමන කෙලෙස් මුල් දකිනවා
ඒ කෙලෙස් මල අප සමිදු දුරින් දුරු කරනවා
කෙලෙස් හැම දුරුකලා අප මුනිදු සිත දකිනවා
තෙවෙන නුවණම ලබා ගුණ කදක් ලබනවා 

මතුවෙනා නුවණ මැද සමිදු සම්බුදු දිලෙන්නේ
ගුණ කදක් ගල ගලා ලොවට සෙත සැදෙන්නේ
තෙලොව තතු දැනගෙනයි මුනිදු ජය ලබන්නේ
දෙව් මිනිස් ලොවේ ගුරු සිහරජුට අපි වදින්නේ

Wednesday 8 May 2019

මුතු ඇටයකි ඉන්දිය මහ සාගරේ


මුතු ඇටයකි ඉන්දිය මහ සාගරේ
කියලයි කීවේ මේ මුලු ලෝකයේ
මුතු ඇටයට ඇවිදින් කලු කූඹීයෝ
දිදුලුම් නෑ කලු පැල්ලම් මතු උනේ

හැත්තෑ වසරක කල මේ පාලනේ
කෑවා ටික ටික ඔබ ලක් මෑණියේ
බලා ඉදන් හැමදාමත් නිකරුනේ
මෑණියේ ඔබටයි දරුවන් නැති උනේ

එක එකාට හොදම එකා කියලනේ
හැමදාමත් කලේ ඉතින් පැති මාරුනේ
මෙහෙම කරන එකම තමයි වැරදුනේ
හොදම එකා තෝරා ගත යුතු අපිමනේ

බුදු සමිදුගේ කරුණා නෙත ලැබුනානේ
සිරි සදහම් ගබඩාවයි සමිදුන් දුටුවනේ
ලොවට උතුම් රට ලෙස අණ පැතිරුනේ
ඒ උතුම් රටට උතුම් නායකයෙක් දෙනු මැනේ

රට රකිනා මහ විෂ්ණු දෙවියනේ
බලා මොවුන් ඈතක විසි කරමිනේ
සක්දෙවිදුගේ වරමක් ඉල්ලා ගෙනේ
දෙව් පුතෙකුට වඩින ලෙසට කිව මැනේ

හැම විපතම දුරින්ම දුරු කරමිනේ
සතරවරම් දෙවිරජිදුන් මෙහි වඩිමිනේ
වෙසමුණි දෙවි අණ මෙහි පතුරවමිනේ
වින කටිනා උන් අල්ලා ගෙන යනු මැනේ

මහ බෝධීය මහ සෑ අනුහස පතුරවමිනේ
මහ බලගතු දන්ත ධාතු හිමියන් වඩිමිනේ
වැඩහිදිනා බුදු සමිදුගේ දා බලයම් රැගෙමිනේ
රැකදේවා මෙලක සිල් ගුණ දම් පිරි අනුහසේ

රැගෙන ආපු, සඟවා තිබෙන ආයුධ එලිවේවා
සැගවී සිටින, උදව් කරන හැමදෙනාම හසුවේවා
නීතී රකින ලක් පුතුනට කරදර හැම දුරුවේවා
මනුසත් ගුණ හැමදෙනාට නිසි ලෙසටම පිහිටාවා


Friday 8 February 2019

සැනසීම සොයාගෙන - රැවටීම


සැනසීම සොයාගෙන
සැප සතුට පතාගෙන
ජිවිතය ගෙවාගෙන
කොහේ යන්නෙද මෙසේ

කුඩා කල පෙර පාසලෙන්
ඉස්කොලේ ගිය පසුව හමුවෙවි
සැප පිරුණු ලෝකයක් හැබෑවට
කියා කිව්වා මතකයි වැඩිහිටියෝ

පෙර පාසලේ තිබුණු ඒ සොදුරු ලමාවිය
සැප සතුට හා තිබුණු සැහැල්ලුව
ටිකෙන් ටික අඩුවෙමින්
පිරුණානේ ඔලුව ටික ටික බරවෙමින්

එක වසර දෙක වසර පසුකරන්
පලයන් මගේ පුතේ පහ වසරටම
පහ වසර විභාගය සමත් වී ගියොත්
හමුවෙවි නුඹට සැප ලෝකයක්
කීවා මතකද ගුරුවරුන් වැඩිහිටියෝ

හැම දේම පසෙක කොට
පොත් පත්තරම තුරුළු කොට
ලිවානේ පහ වසර විභාගය
කෝ ඒ සොයපු සැප සතුට සැහැල්ලුව

හය වසර හත අටද නවයට ගියා
පුතේ තව දෙවසරයි ඕලෙවල් විභාගෙට
ලියා සමත් වූවොත් උඩින් අන් හැමට
උඹ සොයන සැප සතුට ඉන් පසුව හමුවෙන්නේ
කියා කීවනේ මව් පියන් නෑසියන් වැඩිහිටියෝ

පලවෙනියා වෙලා දහය වසරෙදි
එකොලහට ඇවිත් දැන් ලඟයි ඕලෙවල්
වැඩ ඇතිව සියලු විශයන් උඩින්
A අරන් සමත් වී ගියත් 12 වසරට
අනේ නෑ නොවැ සොයන සැහැල්ලුව

දොලහ දහතුන වසර වල දෙවසරක්
ටියුෂන් වලට වසර දෙක හමාරක්
කලා විභාගය ඒ ඒලෙවල් වරක් දෙවරක්
තව ඉතිරි වාරයයි තුන් වතාවක්
කැම්පස් එකයි සුර පුරය මව මවා කිවේ
ගුරුවරුද ගම්වැසියෝ මව් පියන් වැඩිහිටියෝ

පාස් වී ඒ ලෙවල් වයස විසිගණන් පසුවෙද්දී
ගියේ කැම්පස් එකේ සුර පුරය හොයාගෙන
අනේ කෝ ඒ කියු සුර පුරය
තිබුනු සැහැල්ලුව සහ සැප සතුට
ටිකෙන් ටික අහවරයි සොයා සොයා සුර ලොවක්

ඩිග්‍රියක් කරතියන් පන්තියක් එක්කහුව
හොයා හොයා ජොබ් එකක් ඉන්‍ටවිව් පසුකරන්
සුර පුරය කියා කියු හැමදාම , හැමදෙනාමත්
සොය සොයා ආවට මේ විසල් කොලොම්පුර
අනේ දැන් ඒ තිබු සැනසීම අහවරයි නියමෙටම

කලුවරේ යනවාලු - කලුවරේ එනවාලු
බොඩිමක හෝ පොඩි ඇනෙක්සිය ඇතුලේ
දහදුකක් විදගෙනම - කඩ කෑම කාගෙනම
සොයනවා සැප සතුට - මිරිගුවක් හෝ නොදැක

ආයෙමත් යන්න හැකිනම් පෙර පාසලට
එහිම නවතිනවානේ - ඇතිය එහි සැප සතුට
ආයේනම් ලොකු වෙන්න කියන වාරේකට
"මෙහෙම මට හොදයි. ඕනි නෑ ලොකුවෙන්න"

Thursday 10 January 2019

දුක් විදි කුමරියක්?

ඉපදුන දා පටන් අපලයක් කියනවා
මරා දමපිය ඈ මේ හැම නසනවා
අනාවැකි නැකත්කරුවන් කියනවා
වෙනම පෙදෙසක ඈ තනිව හැදෙනවා

යක්ඛ ලේ ඇති නෑ පිරිස මග හරිනවා
කුලවතියක් නිසා දැසි දස්සො ලබනවා
කපු කටින්නට  හොද හැටි දැන ගන්නවා
මුහුද අසබඩ තම්මැන්නාවේ දිවි ගෙවනවා

රජ කුලේ යුවලක විවාපත් වෙන දිනයක්‍ ය
රටෙ හැම දෙනා හට ඒ මගුල් උත්සවයක් ය
මේ යොවුන් කුමරියට එහි යාම තහංචියක් ය
මලිගාවේ තනියට ඇත්තෙ එක් සේවිකාවක් ය

හිතුවක්කාර කම් මැද දිවි ගෙවන සිංහබාහු කුමරා
රටටම වදයක්, රජුට හිසරදය මේ යොවුන් කුමරා
පිරිස සමගින් පිටුවහල් කර දමා නැව් නැගි කුමරා
ලක් තලයක අබියසට කැඩි නැව ආවේ විජය කුමරා

සනුහරේටම සාපේ කිව් ඈ ට බලය ලැබුණා
පෙර නොවුන ඇගේ හිත ආලයෙන් බැදුණා
දුටු වනම ඒ රුව ශක්තිමත් බව ඈට සිතුණා
රජ කරවමින් විජයව රැජිණ ඈ හීන මැවුණා

පිටරැටියෙකුට පෙම් බැද මරණයයි හිමි ඈට දැනුනා
හිමිවෙලා තිබු ජිවිතේ හිර වෙලා ඒ බව මතකෙ ඇදුණා
කරන්නට දෙයක් නෑ දැන් විජය කුමරුගෙ පිහිට පැතුණා
තමන්ගේ ලේ නෑයෝ මරණට විජය හට ඈ උදව් කෙරුණා

අවි අයුධත් නෑ සතුට සැණකෙලි පිරිස රැදිලා
තමන් මරණට සතුරු එනබව නොවෙ සිතිලා
වට කෙරුණ පිරිසෙන් ලක් යක් පිරිස මැරිලා
යුද්ධෙකින් නොව කපටි කමකට ජයක් ලැබිලා

විජය නෑ ඇගෙ පිරිස ඇවිදින් ඇයව ගෙන යන
කාගේ මරණෙද ඈ හිත දෙගිඩියාවෙන් ලත වන
යන විටදී කලකින් ඈ නෑ පිරිස වැටි තැන තැන
හැගුණු දුක් කඳ ඈ හිතම මිස කවුරුනම් පවසන

අමතකව නැසූ නෑයන් රජුගෙදර ඈ අග බිසව වෙලා
විජය රජුගේ ආල සෙනෙහස මැද සතුට යයි උතුරලා
කිසි දුකක් නෑ හැම දෙයම දැන්නම් හොද අතට හැරවිලා
විජය කුමරුට දරුවො දෙදෙනෙක් ඈ කුසින් බිහිකලා

නොලැබෙනා අඩු පාඩු දැන් ඉරිසියාවට හැරවිලා
රාජ සබාවේ උසස් අයටම පහත් ගති මතුවෙලා
විජයගෙන් පසු ඇයගෙ පුතු රජවෙයි සිත් වෙලා
බොරුව කේලම රජුගෙ හිත තුල සැකය ඇති කලා

මීනී මස් කන එකියකයි රජුට ඈ ගැන කියනවා
තැනින් තැන සැකයට කරුණු එක එක හදනවා
රජුගේ ආලය ටිකෙන් ටික දැන් මග හැරෙනවා
ඇමති පිරිසේ කුමන්ත්‍රණ ජය ලකුණු දකිනවා

රජු හටත් දැන් සැකය සිතේ රජ කරනවා
රජු රැජිණ හා එක්ව සිටිය කල ගෙවෙනවා
රජ මැදුරේ ඈට එරෙහිව කටයුතු කෙරෙනවා
රජු ට ඇය යකින්නක් ලෙසට දැන් පෙනෙනවා

රජ මැදුරෙන් එලවන ඈ ඉබාගාතෙයි ඇදෙන්නේ
දරු දෙදෙන සමගින්ම ඈ කැලය තුලටයි යන්නේ
කුසගින්නේ සිටිමින්ම ඈ දරුවන් කුසගිනි නිවන්නේ
කවුරු කොහොමද ඈ දරපු දුක මෙපමණයි කියන්නේ

කැලේ සැගවුණු පරපුරේ පිරිසකට ඈ හසුවුණා
දරු දෙදෙන සගවලා වෙනතකට ඈ යොමුවුණා
තරහ පිරුණු පිරිසගෙන් මරණයට ඈ හිමිවුණා
මරණ මොහොතේ සිත කොතන මුවග කියවුණා

ඔබට මා මටද ඔබ ආදරය වීය සත්‍යයක්
හිමිකමට කිසිකෙනෙක් නොවිය සවියක්
ඒ නිසයි මේ ලෙස අපිව තැබුවේ දෙතැනක්
හිමිවන්න වෙන බවෙක පතමු එක පැතුමක්

අනාගතේ මේ රට රජ කරනා හැම දෙනට
සාපය වේවා මේ මට කල හදියට හැම දිනට
කියමින් සමුගත්තාලූ කියලා තිබුණාලු තැනෙක
එකද මන්දා මේ රට කිසි දාකත් නොලැබුවෙ ජයෙක